Monday, September 08, 2014

මට ඒ හොදටෝම ඇති මයේ රත්තරන් පුතේ


මහා ගොෂාව ටිකෙන් ටික අඩු වෙලා....
කොලබ අහසට කලුවර එකතු වෙන්න පටන් අරන්....
වැහි බීරම් ගතිය තිබුනත් මම හිතුවෙ නෑ මේ අවේලාවෙ  මහ වැස්සක් ඒවි කියලා...
වැහි බින්දු එක දෙක් වැටෙද්දි මම සන්තකේට තිබුනු එකම පැදුරු කඩමාල්ලත් අරන් රාත්‍රිය ගත කරන බස් නැවතුමට ආවේ නොතෙමී ඉන්න තිබුනු එකම හව් හරන ඒක විතරක්ම වෙච්චි නිසා....

හීත වැහි බින්දු මගේ රැලි වැටුනු අත උඩට වැටිලා හෙමින් පහලට රූටලා වැටෙද්දි මට මතක් උනේ මයේ පුතේ වැහි දාට උබ කඩදාසි බෝට්ටු හදලා ඉල්ලලා මට කරදර කරපු හැටි....
--------------------------------------------------------------------------------
ගමේ අපේ මහ ගෙදර එලි පත්ත උඩ වාඩි වෙලා ....

"අප්පච්චී අප්පච්චී මට එක කඩදාසි බෝට්ටුවක් හදලා දෙන්න...
මේ බලන්න අප්පච්චී වතුර ගොඩක් වෙල පැත්තට ගලනවා...

බෝට්ටුවත් වෙල පැත්තට යයි....."

උබ ඒ අහන හුරතල් විදිහට මම කොහොමද හදලා නොදී ඉන්නෙ....

හැමදාම උදේ පාන්දර උබ ගමේ ඉස්කොලෙට යන්න බෑ කියල අඩනකොට මම උබව වඩාගෙන වත්ත වටේම ඇන්න යනවා...
ඔලුව අත ගගා...
"පුතේ ඉස්කෝලෙ ගිහින් හොදට ඉගන ගත්තම අප්පච්චිලා වගේ කුබුරු කරන්න ඔනේ නෑ...
ආන්ඩුවේ මහතැන් වගේ ඉන්න පුලුවන්...
ලොකු ලොකු යාන වාහන ගන්න පුලුවන්...
අප්පච්චිවත් දාගෙන බෲම්...ගාලා යන්න පුලුවන්...."

දැන් මගේ හොද සුදු මහත්තයා වගේ ගිහින් ලෑස්ති වෙන්න...මම පුතාව එක්කන් යන්නම්.....

"මම ලොකු මහත්තයෙක් වෙලා අප්පච්චිව බෲම් එකේ අරන් යනවමයි...බලන්ටකො බොරු ද කියලා"......උබ එහෙම කියලා තම්යි ඇදුම් අදින්ට යන්නේ....

මට අකුරු සාස්තරේ නුහුරු උනාට මම මයේ පුතේ උබට ඒක උගැන්නව්වේ මම දන්නවා උබට මම වගේ මේ මහ පොලවත් එක්ක ඔට්ටු වෙලා මේ වැඩ ආන්ඩු මට්ටු කරන්න බැරි විත්තිය...
අත් වල කර ගැට එනකම් උදැල්ල එක්ක ඔට්ටු වෙල මම උබට උගැන්නැව්වා...
උබත් මයේ පුතේ ඉගන ගත්තා...
ගමේ ඉස්කොලෙන් ඉහලින් පාස් වෙලා කොලබ රටට ගියා...
මම එදා ගම පුරා ඇවිද්දෙ රජ කම මට ලැබුනා කියලා හිතගෙන මයේ පුතේ...
මම උබේ අම්මගේ සොහොන් කොත ගාවට ගිහින් උබලගේ අම්මට කිවුවා...

"ඕන් රන් මැනිකෝ...අපේ කොල්ලා දැන් කොලබ රටේ ඉගන ගන්නෙ.....
ඉන්න තැනක ඉදල උබලගෙ අම්මත් සතුටු වෙන්න ඇති මයේ පුතේ.....

උබ ලොකු ලොකු විබාග පාස් කොරා...
ගමට එන එකත් අඩු උනා....
උබ ලොකු තැනකින් කටයුත්තකුත් කර ගත්තා...
ඒ මහ තැන් එක්ක මට හරි හරියට කතා කොරන්නවත් බෑ මයේ පුතේ...
මම එදා බලාන උන්නේ..
උබට එදා හරි ලැජ්ජ හිතුනා පුතෙ උබේ අප්පච්චි ගැන....
මම උබේ ඇස් වලින්දැක්ක මයේ පුතේ ඒක....
-----------------------------------------------------------------------------
මම ගමේ තනියම ඉන්න හිතුවේ ඒකයි...
ඒත් පුතේ උබමනේ පෙරැත්ත කරෙ මේ ඉඩකඩම් දැන් වැඩක් නැතෙයි...විකුනලා දාල කොලබ රටට එන්නැයි කියල....
උබමකොලබ රටෙන් කට්ටිය ඇන්න ඇවිත් ඔප්පු තිරප්පු ඔක්කොම හදල උබ ඔක්කොම විකුනල දැම්මෙ උබේ තනි කැමැත්ට නේ මයේ පුතේ...
උබ තරම් දැන උගත් නැති හින්දා මම කට පියාන උන්නෙ...
උබ මේ හැම දේම කරන්නෙ මොකක් හරි දෙයක් ඇති නිසා වෙන්න ඇති කියලා මට හිතුනා....

ගමේ තිබ්බ සබ්බ සකලමනාවම විකුනලා අහවර වෙලා උබ මාව උබේ මහා වාහනේ නග්ගවාගෙන කොලබ රටේ උබේ මාලිගාවට ඇන්න ආවා...
පුතේ...
ගමේ බුලත් විට කාපු...
සරම් ඇදපු මාව උබේ නෝනට පෑහෙන්නෙ නෑ රතරන්.. පුතේ....
මට ඉන්ගිරිස් බාසාව තෙරෙන්නෙ නැති උනාට හැමදාම රෑට උබට කියන්නෙ මාව පිටමන් කරන්න කියන එක කියල මට හොදට තෙරෙනවා මයේ රතරන් පුතේ...

උබේ ඒ මහා වාහනෙන් මම මේ ඉන්න තැනට ගෙනත් දාල අදට හත් දොහයි....

මම තරහ නෑ මයේ පුතේ...මම හින්දා උබේ දීගේ කැඩෙනවට වඩා මට මෙහෙම ඉන්න එක සතුටක් පුතේ....

ඔව් පුතේ උබ අප්පච්චිව කොහොම හරි උබේ ලොකු වාහනේ දාගෙන එක්කන් ගියා නේ....මට ඒ ඇති මයේ පුතේ...

මට ඒ හොදටෝම ඇති මයේ රත්තරන් පුතේ.......

සටහන
වාසනාවන්ත කාලකන්නියා


No comments:

Post a Comment