Saturday, February 07, 2015

.....පේමදාස රුපියල.....

මාටින් මාමේ...ඉතුරු සල්ලි වලට බුල්ටෝ දෙන්න...
අතින් කටින් බඩු මුට්ටු එල්ලන් උන්නු පුංචි ඇටයා කඩේ මුදලාලියාට කියනවා මට යාන්තමට ඇහුනා..මෙච්චර බඩු තොගයක් ගන්න මම කොච්චර වටිනවා ඇත්ද....
මට හීනි ආඩම්බරේකුත් ආවා...
කොල්ලගෙ කිලුටු නාවර පිරිච්ච අල්ල උඩින් මාටින් මුදලාලිගෙ ලාච්චුවට මං ආවේ එහෙමයි...

සතේ කාසි..
සත දෙකේ කාසි...සත පහේ කාසි මැද්දෙ මමයි රජා උනේ...මාත් එලි බැහැපු අලුත හින්දාමද මංදා මාටින් මුදලාලිත් දෙතුන් විඩක් හොරෙන් හොරෙන් අතට ඇන්න මගේ හැඩ බැලුවා...කඩේට ආව දෙතුන් දෙතුන් දෙනෙක්ටත් පේම දාස රුපියල...බලහල්ලකො හැඩ කිය කිය පෙන්නද්දි මට තවත් ආස හිතුනා මං ගැන්ම...
හැන්දෑ වෙනකොට මාටින් අයියගෙ කඩෙන් මට අලුත් තැනකට යන්න හම්බුනා...ටවුමේ කරත්ත සීටින්ගේ සරම් පොටට වැටිච්ච මන් රාත්‍රී වෙනකොට නැතුනේ කොලඹ 7 ලොකු නෝනා කෙනෙක්ගේ පසුම්බියේ...
එදා ඉදලා ලොකු ලොකු කාරනා වලට තමයි මාව පාවිචි උනේ...
අස්ස කරත්ත වලට ගෙවන්න...
හෝටල් බිල් වලට කොටින්ම කිව්වොත් මල්ලක් පුරවල එලවලු ගෙනියන්නත් දෙන්න තරම් වෙලෙන්දො මට බය උනා....

දිලිහිල්ල නම් අතින් අතට ගිහින්ම ටික ටික අඩු උනා....
අන්තිමට මතක සවාරිය ගියේ බස් කොන්දොස්තර කෙනෙක් එක්ක...
රූපවාහිනි සංස්ථාව ගාවින් නැග්ග මහ්තයෙක් එක්ක ඒ මහත්තයා එක්ක ගෙදර ගිහින් ඒ මහත්තයාගේ පුතාගේ කැටේට ගිය ඒ ගමන තමයි මගේ අන්තිම සවාරිය...
අවුරුදු ගානක් රටේ අස්සක් මුල්ලක් නෑර කරක් ගහපු මම ගිමන් අරින්න හොද තැනක් හම්බුන එක ගැන අන්තිමට සතුටු උනා....
අවුරුදු ගානක් නිවී හැනහිල්ලෙ ගෙවුනා..
දවසින් දවස කැටේ පිරුනා...අපිට ඉන්න ඉඩ මදි වෙන තරමටම....
මහත්තයගේ පුන්චි පුතා මහත්තයා එක්ක එකතු වෙලා කැටේ බිදලා ආයෙත් අපි එලියට ගද්දි මට හිතුනා ආයෙත් සවාරියක් ගහන්න කාලේ තමයි මේ පටන් ගන්නේ කියලා...
කැටෙන් එලි බැහැලා පලවෙනි වතාවටම මාව ඕනෙ උනේ පෝන් කාඩ් එකක් හූර ගන්න....
ඊට පස්සේ සෑහෙන වෙලාවක් මේසේ උඩට වෙලා හිටියත් කවුරුත් මාව ගනන් ගත්ත පාට පෙනුනේ නෑ...
උදේට පාන් ගන්න....
හවස බස් එකේ යන්න....
හැන්දෑවේ එලවලු ගේන්න යන්න...
කිසිම දේකට කවුරුත් මාව එක්කන් ගියේ  නෑ..
මුලු දවසම මේසේ උඩ බලන් උන්නත් කිසිම කෙනෙක් නොබලපු මාව අන්තිමට මහත්තයාට ඕනේ උනා...
හෙල්ලි හෙල්ලි තිබ්බ ටී.වී ස්ටෑන්ඩ් එකේ කකුලකට හිර කරන්න....
කිසිම වැඩක් නැති එකෙක් ගානටම මාව වැටිලද...මට කිසි දෙයක් හිතා ගන්න බෑ....
රෑ හතට විතර රූප පෙට්ටියේ ප්‍රවෘත්ති යනකොට යන්නතමට මට මෙහෙම කියනවා ඇහුනා...

"රුපියල් පන්දාහේ නෝට්ටු සංසරනයට එක් කරයි..."

මහත්තයා නෝනා බලලා දිහා "හාල් කිලෝව රුපියල් එකසිය  දයයි ඉස්සරහ කඩේ....බෝන්චි පන්සීය හැටයි"
කියනවත් ඒ අස්සෙන් ඇහුනා....

මම කැටේ ඇතුලේ උන්නු කාලෙට සෑහෙන දේවල් වෙලා වගේ....
වෙලා තියන දේ වල හැටියට
පුදුමයි මාව අඩේකටවත් ගත්ත එක....

සටහන
-වාසනාවන්ත-

No comments:

Post a Comment