Friday, September 04, 2015

ඔන්න පුතේ අද ප්‍රතිඵල එනවලු....

මතකයේ හැටියට ඒ 2004 වසරේ අවසන් කොටසය.
ශිෂ්‍යත්ව විභාගය අවසන් කර හිතේ හැටියට දුව පැන නටපු ඒ අපූරු දවස් අතර එක් වරම අසුබ ආරන්චියක් රැගෙන ආවේ ඉස්සරහ ගෙදර නැන්දා...
ඔන්න පුතේ අද ප්‍රතිඵල එනවලු....
හිතේ තිබ්බ ආතල් ඔක්කොම කුඩු සූදුරු කොට දාමා මල්ටි බැරල් එකසිය පනහක් එකපාර මාව ටාගට් කරා වගේ බයක් ආවා...
ප්‍රතිඵල....
මොනවයි මොනා වෙලාද දන්නේ නෑ.....
තාත්තගෙන් හොද්ට අහ ගන්න පුලුවන් මොනා හරි වෙලා තිබ්බොත්...
දවස පුරාම කාටුන් බැලුවට කන්න වෙයි නැති වෙන්න....

ගහනවා නම් කමක් නෑ අම්මගේ බැනිල්ල තමා ඉවසන් ඉන්න බැරි.....
මේ ඔක්කොම හිතේ එක දිගට චිත්‍රයක් වගේ එක දිගට ඇදීගෙන ගියා.....
ඇයි හත් දෙයියනේ තව ටිකක් ඕක පරක්කු කරලා එවන්න බැරි.....
මම ගෙදරට යනකොටත් අල්ලපු ගෙදර ඇන්ටි අම්මට ආරංචිය කියලා ඉවරයි...
අම්මත් ආපු වෙලේ ඉදන් අහන්නේ පුතේ උබ හරියට ලිව්වා නේද කියලමයි....
මම කොහොමද දන්නේ මම ලියපු ඒවා හරිද වැරදි ද කියලා....
මට එහෙම අහන හිතුනත් මම කට වහන් හිටියේ අම්මාගෙන් හැදි මිටෙන් ගුටි කන්න ඕනේ නැති නිසා..
ඒ අස්සේ අම්මට මතක් උනේ වෙනම දෙයක්.....
පුතේ අද අපි "සූරිය අරන" බලන්න යමු.....
මේ මොකද එක පාරම අම්මට උනේ....
ඒ වෙනකොට මගෙ යාලුවො හැමෝම බලන්න ගිහින් තිබුනේ...
මම විතරයි නොගිහින් හිටියේ...
හදිස්සියෙන්ම මාවත් අන්ද ගත්ත අම්මා මාත් එක්ක ජා-ඇල රත්නාවලී හෝල් එකට ගියා "සුරිය අරන" බලන්න.....
ඇතුල් වෙද්දිම අම්මා කවදාවත් නැතුව පොප් කෝන් පැකට් එකකුත් අරන් දුන්නා....
චිත්‍රපටිය ඉවර වෙලා ගෙදර ආවට පස්සේ ආයේ පාරක් බොක්ක ගිනි අරන් හිටියේ ප්‍රතිඵල මතක් වෙලා....
වෙනදා හවස 4 වෙද්දි ඒන තාත්තත් අද එන්න ප්‍රමාදයි....
තාත්තා හන්දියේ කොම්පියුටර් කඩේ අයියා ගාවින් ප්‍රථිපල බලනවා ඇති...
ඉන්ටර්නෙට් එකෙන් බලන්න පුලුවන්ලු නේ.....
මොන කෙහෙම්මලකට මේවා ඉන්ටර්නෙට් දැම්මද මන්දා....මම තනියම හිතුවා
ඒ දවස් වල මේ වගේ ජංගම දුරකතන හැමෝ ලගම තිබුනේ නෑ....
ඒ නිසා ඉන්න තැනක් එන වෙලාවක් දැන ගන්න විදිහක් නෑ....
කොහොමෙන් කොහොම හරි හවස 5.45ට විතර මිදුලේ කෑ ගහන සද්දයක් ආවා...
"අම්මා....පුතා පාස්...."
තාත්තා ගෙදර ඇවිත්....
බොක්කෙ ඉදන් ග්නි අරන් හිටපු මට ඒක හරියට දැනුනේ කවුරු හරි මාව සීතල වතුර බේසමක එබුවා වගේ....
තාත්තා මිදුලේ ඉදන් කෑ ගහගෙන ගෙට ආවා...
මාව බදාගෙන ඔලුව අත ගාලා ගෙට දුවගෙන ගිහින් අම්මට විස්තරේ කියනවා මට ඇහුනා....
මම අර හන්දියේ සාගරගේ කඩෙන් බැලුවේ...
මාත් එක්ක අර මෙන්ඩිස් දොස්තරත් හිටියා තව තුන් හතර දෙනෙක් හිටියා...
ඒ ඔක්කොම පේල් සුදු මහත්තයා විතරයි පාස්.....
තාත්තා හරි උජාරුවෙන් කියනවා මට ඇහුනා.....
මට අමුතුම සතුටක් එක්ක කියා ගන්න බැරි මොකක් ද හැගීමක් දැනුනා...මම නිසා තාත්තා සතුටු වෙනවා දැක්කම...
ඒත් එක්කම අම්මා තාත්තට කියනවා.....
මම අද පුතාව සුරිය අරණ බලන්න එක්කන් ගියා....
හදිසියෙවත් පේල් වෙලා තිබ්බ නම් පුතාට ඕක බලන්න වෙන්නේ නෑ නේ....
අදටත් චිත්‍රපටියක් බලන හැම වෙලාවකම මට මතක් වෙන්නේ අම්මා මාව සුරිය අරන බලන්න හදිස්යේ අරන් ගිය හැටි.....
කොයි අම්මත් එහෙමයි...
කොයි තාත්තත් එහෙමයි....
ශිෂ්‍යත්වෙන් පස්සේ ගමෙන් නගරෙට ආව හැටි ඊලගට කියන්නම්......


No comments:

Post a Comment